Thursday, August 20, 2009

කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රම්මල කඳු වැටියෙන් ආරම්භ වී තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මුහුදට වැටෙන කිරම ඔය වාර්ෂිකව අක්කර අඩි 29000 ක පමණ ජල ප්‍රමාණයක් කරදිය සමග මුසු කරයි. කිරම ඔය හරස් කොට අක්කර අඩි 1130 ක පමණ වූ කිරම වැව (වරාපිටිය වැව) වරාපිටිය ප්‍රදේශයේ ඉදි කර ඇත. කිරම ඔය හරස් කර අමුණු 19 ක් සකස් කොට ඇති අතර ඒ යට‍ෙත් වලස්මුල්ල, ඕකේවෙල, බෙලිඅත්ත සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කුඹුරු අක්කර 5535 ක් පමණ යල, මහ දෙකන්නයෙහිම වගා කරනු ලැබේ. එමෙන්ම කිරම, වලස්මුල්ල සහ තංගල්ල යන නගර සඳහා පානීය ජලය ලබා දීමද කිරම ඔය මගින් සිදු කරනු ලැබේ.

එහෙත් වර්ෂිකව ඇතැම් කාල සීමාවන් තුල ,ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පහත ගැටළු පැන නගී.
01. ඉහත කී අමුණු 19 න් වගා කරනු ලබන වගා බිම් සඳහා වියළි කාලයේ දී ජලය සැපයීම අසීරු වීම.
02. වියළි කාලගුණික තත්ත්වයන් යට‍ෙත් කිරම, වලස්මුල්ල සහ තංගල්ල නගර වල‍ට පානීය ජලය ලබ‍ා දීම දුෂ්කර වීම.
03. අධික වර්ෂා සහිත කාල සීමාවන් තුල බෙලිඅත්ත සහ විශේෂයෙන් තංගල්ල ප්‍රදේශ ආශ්‍රිතව ඇති වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම.

මෙම ගැටළු වලට විසඳුමක් ලෙස කිරම ඔයේ අමුණු 19 ට ඉහලින් ජලය ගබඩා කර ගැනීම සඳහා ජලාශයක් ඉදි කිරීමේ වැදගත් බව බොහෝ දෙනෙකුගේ අදහස විය.මේ සඳහා කිරම ඔයට සම්බන්ධ ජල ප්‍රවාහයක් වන, කණුමුල්දෙනිය රක්ෂිතයෙන් ආරම්භ වන කැකිරිඔය හරස් කොට ජලාශයක් ඉදි කිරීම පිළිබඳව අදහස දශක දෙකකට පමණ පෙර ඉදිරිපත් වුවද විවිධ හේතූන් නිසා එම අදහස ක්‍රියාත්මක කිරීම 2004 වර්ෂය පමණ දක්වා ප්‍රමාද වී ඇත.

ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා බාධකයක්ව පැවති ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය විධි විධාන යෙදීම නිසා කැකිරිඕබඩ ජලාශය ඉදි කිරීමේ මූලික කටයුතු 2004 වර්ෂයේ දී ආරම්භ කිරීමට හැකියාව ලැබිණි.

ජලාශයේ පිහිටීම


ශ්‍රී ලංකාවේ පිහිටීම පිළිබඳව මෑතකදී ස්ථාපනය කරන ලද නව අක්ෂ පද්ධතියට අනුව උතුරට කි.මී.188000 සහ දකුණට කි.මී.111000 තුල ස්ථාගත වී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාශයේ, කැකිරිඕබඩ, අගලබඩ, වෙළඳගොඩ, බටගස්ස සහ පිස්සුබැද්ද යන ග්‍රාම නිළධාරී වසම් තුල ජලාශය පිහිටා ඇත.

ජලාශයට ලඟා විය හැකි මාර්ග

01. හම්බන්තොට, තංගල්ල සිට වීරකැටිය, වලස්මුල්ල, කිරම හරහා
02. ඇඹිලිපිටිය සිට මිද්දෙණිය, කටුවන, කිරම හරහා

ජලාශය පිළිබඳ ‍‍ෙතාරතුරු

ජල පෝෂක ප්‍රදේශය - වර්ග කි.මී. 87
එම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර් 2000
වැව් බැම්මේ දිග - මීටර් 375
මුදුන මට්ටමේ පළල - මීටර් 6.5
බැම්මෙහි උපරිම උස - මීටර් 30
මුහුදු මට්ටම‍ට සාපේක්ෂව බැම්මේ
මුදුන මට්ටමෙහි උස - මීටර් 996
ජලාශයේ ජල ධාරිතාවය - ඝන මීටර් මිලියන 27
පිටවාන සහ සොරොව්ව - මෝනිං ග්ලෝරි වර්ගයේ


ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය පහසුකම්

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 273 ක් වන අතර ඉන් 75% ක්, ජපාන අන්තර් සහයෝගීතා බැංකුවෙහි, කුඩා පරිමාණ යටිතල පහසුකම් පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යට‍ෙත් ලබා දීමට නියමිත අතර, ඉතිරි 25% ශ්‍රී ලංකා රජයෙහි ඒකාබද්ධ අරමුදලින් දැරීම‍ට නියමිතය.

ජලාශය සඳහා අවශ්‍ය ඉඩම්

ජලාශය සඳහා අවශ්‍ය වන ඉඩම් කැබලි 283 ක් පමණ මේ වන විට වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අත්පත් කරගෙන කැකිරිඕබඩ වාරිමාර්ග කාර්යාලය වෙත පවරා දී ඇත. ඉඩම් අත්පත් කර ගැනීම නිසා නිවාස අහිමි වන පවුල් 54 ක් සඳහා හම්බන්තොට සහ අම්බලන්තොට ප්‍රදේශ වලින් පදිංචිය සඳහා නිවාස ලබා දී ඇති අතර එයට අමතරව සූරියවැව, මයුරපුර, මහවැලි සංවර්ධන කළාපයෙන් වගාව සඳහා ගොඩ මඩ ඉඩම් අක්කර 2 ¼ බැගින් ලබා දී ඇත.
එමෙන්ම ඉඩම් අහිමි වන සියළුම පවුල් සඳහා වන්දි ගෙවීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර නිරවුල් අයිතිය තහවුරු කල ඉඩම්හිමියන් සඳහා 50% ක වන්දි මුදල් ගෙවා නිම කොට ඇත.
රජයට අයත් ඉඩම් වල අනවසරයෙන් වගා කටයුතු සිදු කල පුද්ගලයන්ට ද විශේෂ කැබිනට් අනුමැතියක් යට‍ෙත් වන්දි ලබා දීමට කටයුතු කොට ඇත.

ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යට‍ෙත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබයි.
ඉදි කිරීම් කටයුතු 2009 වසර අවසන් වන විට නිම කිරීමට සැලසුම් කොට ඇත.

ජලාශය ඉදි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ

01. කිරම ඔයෙහි ජලය සෘජුවම උපයෝගී කර ගනිමින් වගා කටයුතු කරන ගොවි පවුල් සංඛ්‍යාව 3500 කට ආසන්න වේ. ජලාශය ඉදි කිරීමෙන් පසුව කිරම ඔය නිම්නයේ වගා බිම් සඳහා යල, මහ දෙකන්නයෙහිම නොඅඩුව පලය සැපයීමට හැකි වනු ඇත. මෙමගින් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට හැකියාව ලැබේ.
02. කිරම, වලස්මුල්ල, ඕකේවෙල, බෙලිඅත්ත සහ තංගල්ල නගර සඳහා පානීය ජල පහසුකම් ලබා දීමට හැකියාව ලැබීම.
03. ධීවර කර්මාන්තය වැනි විකල්ප ආදායම් මාර්ග ජනතාව වෙත සමීප කිරීම.
04. ජෛව විවිධත්වයෙන් යුතු සමබර සහ යහපත් පරිසරයක් ප්‍රදේශය තුල ගොඩ නැගීම.