Wednesday, July 15, 2009




ජීවනෝපාය මාර්ග සංවර්ධනය කෙරේ......

සමෘද්ධි ජාතික සවිය වැඩ සටහන යටතේ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මේ දිනවල සිදු කෙරේ.
ඒ අනුව සමෘද්ධි ප්‍රතිලාභී පවුල් 156 ක ජීවනෝපාය මාර්ග නැංවීම සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම කෘෂිකාර්මික පැල වර්ග 50% ක ආධාර පදනම මත ලබා දීමට නියමිතව ඇත.
මෙම වැඩ සටහනෙහි ප්‍රථම පියවර ලෙස පවුල් 48 ක් සඳහා දියර ඉසින යන්ත්‍ර ලබාදීම 2009.07.15 දින කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු කරන ලදි.
සමෘද්ධි මූලස්ථාන කළමනාකාරීණී ඒ.එච්. මේධාවිනී මහත්මියගේ සහ සමෘද්ධි ව්‍යාපෘති කළමනාකාරීණී අංගනී වීරරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘති තෝරාගැනීම සිදු කරන ලදි.

Thursday, July 9, 2009





රට නැඟුමට දෑත දෙන්න....
තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් ‍කරමින්, ඓතිහාසික ජයග්‍රහණයක් කරා අප රට මෙහෙය වූ, අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන සංවර්ධන සංග්‍රාමයේදී රාජ්‍ය නිළධාරීන් තම දායකත්වය ලබා දිය යුත්තේ කෙසේද යන්න පැහැදිළි කිරීම සඳහා,රජයේ නිළධාරීන් සඳහා වන දැනුවත් කිරීම් මාලාවක ආරම්භක වැඩ සටහන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා‍ ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
හම්බන්තොට, සිරිබෝපුර, සිංගප්පුරු ප්‍රජා සත්කාරක මධ්‍යස්ථානයේදී පැවති මෙම වැඩ සටහනේදී, මහජනතාව වෙනුවෙන් සහ සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය නිළධාරීන් තම දායකත්වය උපරිම අයුරින් ලබා දිය යුතු බව ලලිත් වීරතුංග මහතා අවධාරණය කරන ලදි.රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ඩී. දිසානායක මහතා ද මෙහිදී රැස්ව සිටි නිළධාරීන් ඇමතීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්ද, දිස්ත්‍රික් ලේකම්. අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියළුම මාණ්ඩලික නිළධාරීන් ද, ප්‍රාදේශීය ලේකම් වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිළධාරීන්ද සහභාගී විය.



ප්‍රජා මූලික ආබාධිත පුනරුත්ථාපනය ගැන දැනුවත් කිරීමක්...

සමාජසේවා හා සමාජ සුභසාධන අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන ප්‍රජා මූලික ආබාධිත පුනරුත්ථාපන වැඩ සටහන (CBR) පිළිබඳව රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩ මුළුවක් 2009.07.09 දින, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණි.
සමාජසේවා හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ජාතික සම්පත්දායක එස්. කොඩිකාර මහතා විසින් "ප්‍රජා මූලික පුනරුත්ථාපනය තුළින් ජාතික සංවර්ධනයට ආබාධිතතාවය අන්තර්කරණය" පිළිබඳව රාජ්‍ය නිළධාරීන් දැනුවත් කරන ලදි.ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ පූර්ණ සහභාගීත්වය මත ප්‍රජා මූලික පුනරුත්ථාපනය ගොඩ නැගීම නැගීම සහ තීරණ ගැනීමේදී ඔවුන්ගේ නියෝජනය ලබා ගන්නා ආකාරය මෙම වැඩ සටහන තුලින් පැහැදිලි කරන ලදි.
මෙම වැඩ සටහන සඳහා ක්‍රියාකාරීව දායක වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය වෛද්‍ය අධිකාරීවරුන් සහ අධ්‍යාපන නිළධාරීන් මෙහිදී දැනුවත් කරනු ලැබීය.

Tuesday, July 7, 2009






කාර්යාල නිළධාරීන්ට නව නිළ ඇඳුමක්.....

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිළධාරීන් සඳහා නව නිළ ඇඳුමක් හඳුන්වා දීම 2009.07.08 දින සිදු කරන ලදි.
කාය්‍යාලයීය නිළධාරීන්ගේ එකමුතුකම වර්ධනය වන ආකාරයෙන් යුත් නව ආරක් ගත් මෙම නිළ ඇඳුම හඳුන්වාදීම රාජ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය වන අයුරින් සිදු කරන ලදි.
නව නිළ ඇඳුම සහිතව,බදාදා උදෑසන රැස්වීමේදී රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව එදින කාර්යාලයීය කටයුතු ආරම්භ කරන ලදි.




හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම තේ කම්හල ජනපති අතින් ජනතා අයිතියට...

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ඇති එකම තේ කම්හල වන, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙහිගහහේන ග්‍රාම නිළධාරී වසමේ පිහිටි 2009.06.27 දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.

1989 භීෂණ සමයේ ගිණි ගැනීමෙන් විනාශයට පත්ව තිබූ "හඳුගල තේ කම්හල" නැවතත් දෙණියාය යෝල්ටා තේ කර්මාන්තශාලාව අධිපති කමල් මහේෂ් රණවීර මහතා විසින් අළුත්වැඩියා කර ආරම්භ කරනු ලැබූ අතර, මේ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය දක්ෂිණ සංවර්ධන අධිකාරියේ අනුග්‍රහය යටතේ සිදු කරනු ලැබීය.ඉඩම් පවරා දීම වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලදි.

මෙම උත්සවය සඳහා වැවිලි කර්මාන්ත ඇමති දි.මු. ජයරත්න මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම මැති ඇමතිතුමන්ලා සහ රජයේ නිළධාරීන් සහභාගී විය.








අනන්‍යතාවය සැමටම.....
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පුරවැසි හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් හට කඩිනමින් පුරවැසි හැඳුනුම්පත් ලබා දීම සඳහා ජංගම සේවාවන් පැවැත්වීම 2009.07.04 දින සිදු කරන ලදි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වය ඇතිව සිදු කරනු ලැබූ මෙම ජංගම සේවාවන් ඇත්පිටිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී සහ සිත්තම්ගල්ලෙන පුරාණ විහාරස්ථානයේදී සිදු කරනු ලැබීය.